Monday, February 27, 2012

ශ්‍රීපාද නිශ්ශංක ලෙන විහාරය


ශ්‍රීපාද නිශ්ශංක ලෙන විහාරයට
ඇමරිකානු දානපතිනියගෙන් ලෝක සාම සීනුවක්‌...... ලෝක සාම සීනුවක්‌ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ ජපන් සාම චෛත්‍යයට ඉහළින් නිශ්ශංක ලෙන විහාරය සමීපයේ ස්‌ථාපිත කිරීමට ඇමරිකානු ජාතික දානපතිනියක්‌ වන වැන්මෝර් මහත්මිය විසින් පියවර ගෙන ඇත.

ලෝකයේ විවිධ රටවල් 20 ක සවිකර ඇති මෙම සාම සීනුව ශ්‍රී ලංකාවේ සවිකරනු ලබන්නේ 21 වැනි සාම සීනුව ලෙසය. තඹ ලෝහයෙන් ජර්මනියේ නිෂ්පාදිත මෙය ටොන් දෙකහමාරක්‌ (කිලෝ 2500) බරින් යුක්‌ත බවත්, මෙහි නාදය කි. මීටර 18 ක්‌ දුරට ශ්‍රවණය වන බවත් තම පියාගේ ධන පරිත්‍යාගයෙන් ලෝක සාමය උදෙසා මෙය ශ්‍රීපාදස්‌ථානය කේන්ද්‍ර කරගෙද එළඹෙන මැදින් පුන් පෝය දින නිශ්ශංක ලෙන විහාරය අසල ස්‌ථාපිත කිරීමට පියවර ගන්නා බවත් වැන්මෝර් මහත්මිය කීවාය.

ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගෙන එන ලද මෙම විශාල සීනුව කොළඹ සිට නල්ලතන්නිය දක්‌වා ටිපර් රථයකින් ගෙන විත් නල්ලතන්නිය රථ ගාලේ සිට ඊයේ (26 දා) පෙරවරුවේ ගුවන් හමුදාවට අයත් හෙළිකොප්ටර් යානයකින් ඉතා සාර්ථක ලෙස ගුවනින් ගෙන ගොස්‌ නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේ, නිශ්ශංක ලෙන විහාරය හා ජපන් සාම චෛත්‍ය සමීපයේ ස්‌ථානයක ගොඩ බානු ලැබුවේ වන්දනා කරුවන් විශාල පිරිසකගේ සාදු නද මධ්‍යයේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් විසින් මෙම ලෝක සාම සීනුව ඉතා සාර්ථක ලෙස නිශ්ශංක ලෙන විහාරය අසලට ගුවනින් ගෙන ගොස්‌ ගොඩ බෑම සනිටුහන් කරමින් ඇමරිකානු ජාතික දානපතිනි වැන්මෝර් මහත්මිය විසින් රක්‌ත වර්ණ සළු කිහිපයක්‌ ගුවන් නියමුවන් වෙත ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
2012/02/27~
මස්‌කෙළිය-ගාමිණී බණ්‌ඩාර ඉලංගන්තිලක

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...